10/08/2026
මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ මාර්ගවල කිසි දිනක දැකීමට විය නොහැකි Honda CRF1100L Africa Twin යතුරුපැදියයි!
Honda CRF1100L Africa Twin යනු ලොව වඩාත්ම ජනප්‍රිය සහ ගෞරවයට පාත්‍ර වූ Adventure Touring යතුරුපැදි අතරින් එකකි. නමුත් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන නීතිරීති අනුව 450cc ට වැඩි ධාරිතාවක් ඇති යතුරුපැදි සාමාන්‍ය මාර්ග භාවිතය සඳහා ලියාපදිංචි කිරීම හෝ ධාවනය කිරීම කළ නොහැකි බැවින්, 1,084cc ධාරිතාවයකින් යුත් Honda Africa Twin යතුරුපැදියක් ශ්‍රී ලංකාවේ මාර්ගවල අනාගතයේදී නීත්‍යානුකූලව දැකීමට නොහැකි විය හැක.
Africa Twin නාමය මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ 1980 දශකයේ අවසානයේ Paris-Dakar Rally තරග ජයග්‍රහණය කළ Honda NXR750 රේසිං යතුරුපැදියෙන් ආභාෂය ලබා නිපදවූ XRV650 සහ XRV750 මාදිලි හරහාය.
වසර ගණනාවකට පසු, 2016දී CRF1000L Africa Twin ලෙස නැවත පැමිණි මෙම යතුරුපැදිය, 2020 සිට 1,084cc එන්ජිමක් සමඟ CRF1100L Africa Twin බවට පත්විය.
මෙම යතුරුපැදියේ හදවත වන්නේ Liquid-Cooled, SOHC Unicam Parallel-Twin එන්ජිමකි. 270° Crankshaft සැලසුම නිසා V-Twin එන්ජිමකට සමාන බලවත් ශබ්දයක් සහ සුමට Torque Delivery එකක් ලබාදෙන අතර, එය 100 hp ක උපරිම බලයක් සහ 105 Nm ක ව්‍යවර්ථයක් නිපදවයි. අධික අශ්වබල සංඛ්‍යාවකට වඩා, අඩු RPM වල සිටම ලැබෙන ශක්තිමත් Torque එක මෙම යතුරුපැදියේ ප්‍රධාන වාසියක් ලෙස සැලකේ.
Honda Africa Twin හි විශේෂම තාක්ෂණික අංගයක් වන්නේ Honda Dual Clutch Transmission (DCT) පද්ධතියයි. සාමාන්‍ය 6-වේග Manual Gearbox එකක් මෙන්ම, ක්ලච් ලීවරයක් නොමැති ස්වයංක්‍රීය DCT සංස්කරණයක්ද මිලදී ගත හැකි අතර, Adventure Touring කාණ්ඩයේ එවැනි පහසුකමක් ලබාදෙන සීමිත යතුරුපැදි අතර Honda Africa Twin ප්‍රමුඛ ස්ථානයක සිටී.
මෙය ප්‍රධාන මාදිලි දෙකකින් ලබාගත හැකිය. Standard Africa Twin මාදිලිය සැහැල්ලු බරක්, 18.8L ඉන්ධන ටැංකියක් සහ Off-Road භාවිතයට වඩාත් සුදුසු සැකසුමක් ලබාදේ. Adventure Sports ES සංස්කරණය නම් 24.8L ඉන්ධන ටැංකියක්, උස Windshield එකක්, Showa EERA Semi-Active Electronic Suspension, Heated Grips, Cornering Lights සහ Tubeless Wire Wheels වැනි අමතර පහසුකම් සමඟ දිගු දුර සංචාර සඳහා නිර්මාණය කර ඇත.
මේ හේතුවෙන්, විශාල Adventure යතුරුපැදි අතරින් සැබෑ Off-Road හැකියාවක් ඇති මාදිලියක් ලෙස Africa Twin විශාල පිළිගැනීමක් ලබා ඇත.