07/09/2025
දැනුවත් වෙමු !🔴
⚠️ බ්‍රේක් අඩපන වීම (Brake Fade) - බෑවුම් මාර්ගවලදී, ජීවිත අනතුරු විය හැකි සිද්ධාන්තයක්! ⚠️
දින කීපයකට කලින් සිදු වුනු කණගාටුදායක අනතුරත් සමඟ පොදුවේ කතා වෙන්න ගත්තු මාතෘකාවක් "බ්රේක් නැති වීම". නැත්නම් "බ්රේක් ෆේඩ් (fade) වීම".
බ්‍රේක් අඩපන වීම කියන්නේ මොකද්ද?
බ්‍රේක් පද්ධතිය වැඩි වේගයෙන් හෝ දිගු කාලයක් පුරා එක දිගට භාවිතා කිරීම නිසා, එහි ක්‍රියාකාරිත්වය අඩු වීමයි. බෑවුම් වලදී මේක වඩාත් බලපානවා. ඒ වගේම තැනිතලා මාර්ග වල වුනත් බ්රේක් බයින්ඩ් වෙලා තිබුනොත් හෝ බ්රේක් තද කරගෙන දිගු වේලාවක් ධාවනය කරොත් බ්රේක් නැති වෙන්න පුළුවන්.
🛑 මේ සඳහා ප්‍රධාන හේතු දෙකක් තියෙනවා:
1.බ්‍රේක් දියර (Brake Fluid නැත්නම් පොදු ව්‍යවහාරයේ "බ්‍රේක් ඔයිල්") වල උෂ්ණත්වය ඉහළ යාම -
බ්‍රේක් දියර රත් වෙද්දී එය වාෂ්පීභවනය වෙලා බ්‍රේක් වල පීඩනය අඩු වෙනවා. මේ නිසා ඔබට බ්‍රේක් වැඩ නොකරනවා වගේ හැඟෙන්න පුළුවන්. බ්‍රේක් දියර පරණ වුණාමත් එහෙම වෙනවා.
2. බ්‍රේක් පැඩ් සහ ඩිස්ක් එහෙමත් නැත්නම් බ්රේක් ශූස් සහ බ්‍රේක් ලයිනර් (Drum Brakes) උණු වීම -
බ්‍රේක් පැඩ් සහ ලයිනර් උෂ්ණත්වය වැඩි වීමෙන්, ඒවායෙන් නිපදවෙන්න ඕනේ ඝර්ෂණය (friction) නියමිත ප්‍රමාණයට වඩා අඩු වෙනවා. ඒක නිසා නැවතුම් බලය (stopping power) අඩු වෙනවා.
හොඳටම රත් වුනාම් බ්රේක් නැති වෙලා ම යන්න පුළුවන් මේ නිසා.
බ්‍රේක් පරණ වුණාම සහ නිසි මට්ටමේ නැති වුණාමත් ඉක්මනින් බ්‍රේක් අඩු වෙනවා.
බ්රේක් ෆේඩ් නොවෙන්න මොකද්ද කරන්න ඕනේ?
🚘 පල්ලම් වල ධාවනයේදී වාහනයේ සාමාන්‍ය බ්‍රේක් පමණක් භාවිතා කරන්න එපා. විශේෂයෙන්ම තද බෑවුම් වලදී, Engine Braking වලින් හැකි තාක් වාහනයේ වේගය පාලනය කරගන්න.
ඔබ ධාවනය කරන වාහනයේ ගියර් පද්ධතිය මැනුවල්, හෝ ඔටෝමැටික් වුවත් paddle shifters ඇති ටිප්ට්‍රොනික් එකක් වුනත්, Engine Braking භාවිතා කරන්න යොමු වෙන්න.
✅ බ්‍රේක් අසාර්ථක වීම වැළැක්වීමට උපදෙස්:
1. Engine braking භාවිතා කිරීම
*මැනුවල් වාහනයක නම්: බෑවුමක් බසිද්දී 1වැනි හෝ 2වැනි ගියර පමණක් භාවිතා කරන්න. පාලනය කරගන්න පුළුවන් වේගයෙන් යන්න. එන්ජිමේ වේගය (RPM) ඉතා වැඩි අවස්ථාවක ටිකක් අඩු කරගන්න අවශ්‍ය නම් පමණක් 3 වෙනි ගියරයේ ධාවනය කරන්න.
*ඔටෝමැටික් වාහනයක නම්:
"L”, "B", "1" හෝ "2" ලෙස සලකුණු කර ඇති ගියර භාවිතා කරන්න. අවශ්‍ය නම් පමණක් 3 වෙනි ගියරයට ගන්න
(පැරණි වාහන වල OD OFF නැත්නම් ඕවර් ඩ්‍රයිව් ගියරය ක්‍රියා විරහිත කර ධාවනය කරන්න)
*කුඩා එන්ජින් සහිත CVT ගියර් පද්ධතියක් ඇති රථ වල (WagonR, Japan Alto වැනි) - "S" ගියරයට සීමා වෙන ස්විචය තද කරන්න. එවිට ඔබේ CVT පද්ධතිය ඉහල ගියර් අනුපාත වලට මාරු නොවී, බ්‍රේක් වලට වැඩි බරක් නිදී ඔබට පාලනය කරගන්න පුළුවන් වේගයෙන් ධාවනය කරන්න හැකි වෙනවා.
*Paddle shifters හෝ Tiptronic ගියර් පද්ධතියක් ඇති වාහනවලදී: අවස්ථානුකුලව 1වැනි හෝ 2වැනි හෝ අවශ්‍ය නම් 3වැනි ගියර වලට මාරු කරගන්න.
*Hybrid සහ electric වාහන වල - "Regenerative braking" පහසුකම වඩා ඉහළ බලයකින් වැඩ කරන සැකසුම භාවිතා කරන්න. එවිට විද්‍යුත් මෝටර් මඟින් වේගය අඩු කිරීමට ක්‍රියා කරන අතර, එමඟින් බැටරිය ආරෝපණය කිරීමට ක්‍රියා කරනවා.
වැදගත්ම කාරණය වාහනයේ වේගය නිසි ආකාරව පාලනය කරගැනීමයි.
2. Intermittent braking - කඩින් කඩ බ්‍රේක් කිරීම
බ්රේක් එක භාවිත කරන්න අවශ්‍ය වෙලාවට කඩින් කඩ බ්‍රේක් කරන්න. අවශ්‍ය පමණට වේගය අඩු වුනාම බ්‍රේක් නිදහස් කරන්න.
මේ අතර ගියර් අඩු කරගන්න (downshift කරන්න) - මේක engine braking ක්‍රියාවලියට උදව් කරනවා.
👉බෑවුම පුරා ම බ්‍රේක් තද කරගෙන (riding the brake) ධාවනය කරන්න එපා. එහෙම කළොත් බ්‍රේක් උණු වෙලා fail වන්න පුළුවන්.
මා පෙර කියූ පරිදි, එන්ජිමේ සහ ගියර් වල ආධාරයෙන් වේගය අඩු කරන ගමන් බ්රේක් එක භාවිත කරන්න.
👉මීට අමතරව, රථයේ බ්රේක් නියමිත මට්ටමේ නැති වුනාම බ්රේක් අඩු වීම ඉක්මනින් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ වාහනයේ බ්රේක් නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා දැයි නිතර පරීක්ෂාකාරී වෙන්න. නිෂ්පාදකයා සඳහන් කරන ධාවන කාලයෙන් හෝ බ්රේක් අඩු බව හැඟෙන විටම අනිවාර්යයෙන් ම බ්රේක් මාරු කරන්න. බ්රේක් නැති වෙනකන් ඉන්න එපා.
🙏 ආරක්ෂාකාරී ව සිටින්න. මේ විස්තරය තවත් රියදුරන් සමග බෙදාගන්න. අනතුරු වලක්වගන්න.
👉ඔබේ ආරක්ෂාවට විතරක් නොවෙයි. මාර්ගයෙ අනෙක් අයගේ ජීවිතත් මේකෙන් රැකගන්න පුළුවන්.
👉රියදුරෙකුගේ වගකීම සීමාව මෙතරම් කියල මායිමක් පනවන්න බෑ. තමන්ගේ වාහනය, තමන්ගේ ජීවිතය වගේම, වාහනයේ යන අනිත් අයගේ ජීවිතත්, අවට සිටින සියලුම අයගේ ජීවිතත් ආරක්ෂාකාරී වෙන විදියට පාරේ යන එක තමයි හොඳ රියදුරෙක් ගේ වගකීම.
👉මාර්ග නීති රීති හරියට පිළිපදිනවා නම් සහ මේ වගේ අමතර තාක්ෂණික තොරතුරු හොඳින් දන්නවා නම්, අනතුරු වලින් වැළකෙන්න පුළුවන්.
👉අන් අයගේ දැනගැනීම පිණිස share කරන්න.
~ Originally written by Kelum Wijayawardhana ~
BSc (Hons) in Mechanical Engineering,
EMsc in Strategic Management
Accident 1st වෙනුවෙන් උපුටාගෙන අනුවර්තනය හා පරිවර්තනය - කවිඳු හසංක පෙරේරා.